වටලප්පන් - Wattalappam
- නෙරන්ජලා ප්‍රනාන්දු විසිණි.
වටලප්පන් ( කිතුල් හකුරු යෙදූ )..
අවශ්‍ය ද්‍රව්‍ය -
කිතුල් හකුරු 250g
පොල් උකුකිරි කෝප්ප 1 ( 1 - 1, 1/2 අතර අවශ්‍යනම් ගන්න පුළුවන් . අනවශ්‍ය විදියට වැඩිකර ගන්න එපා )
බිත්තර 6
එනසාල් ඇට කිහිපයක් කුඩුකර
වැනිලා තේ හැඳි 1- 1, 1/2
කජු
සාඳන ක්‍රමය -
1. මුලින්ම කිතුල් හකුරු ටික ග්‍රේටරයකින් හෝ පිහියකින් සිහින්ව ගාගන්න.
2. දැන් පොල්කිරි උකුවට සාදාගන්න.
** පොල්කිරි උකුවට මිරිකා ගන්න පුළුවන්.
** නැත්නම් හොඳින් බ්ලෙන්ඩර් කර මිරිකාගත් පොල්කිරි සෙලවෙන්නෙ නැතුව පැය බාගයක් පමණ වත් ශීතකරණයේ තබා එහි උඩට එක්වන උකු කිරි ටික සෙමින් වෙන්කර ගන්න.
3. එනසාල් වල මැද කලුපාට ඇට කිහිපයක් තලා කුඩුකර ගන්න. මෙයින් තමා වටලප්පන් එකට නියම රසය එක්වන්නෙ.
4. දැන් බිත්තර ටික වෙනමම ගෙන හොඳින් ගසා පෙරාගන්න. පෙරාගත් බිත්තර හෑන්ඩ් විස්ක් එකක් මඟින් පෙණ එන්න හොඳින් ගසාගන්න.
5. ඉන්පසු හකුරු වලට පොල්කිරි ටික ටික එකතු කරමින් හකුරු හොඳින් දියකර පෙරාගන්න. සියලුම හකුරු හොඳින් දියකර ගන්න.
6. දැන් බිත්තර මිශ්‍රණය හා හකුරු මිශ්‍රණය එකට කලවම්කර ( බීට්කරන්න, ගසාගන්න එපා. ) එයට වැනිලා, එනසාල් කුඩු එක්කර හොඳින් හැන්දකින් කලවම්කර ගන්න.
7. වටලප්පන් එක සාදාගන්න භාජනයට මිශ්‍රණය එක්කර විනාඩි 40 - 45ක් ස්ටීම් කරගන්න.
** බේක් කරනවනම් 180C° විනාඩි 30ක් වගේ බේක්කර ගන්න. අවන් අනුව කාලය වෙනස් වෙන්න පුළුවන්.
* පුඩිම හොඳින් ෆොයිල් කොළ/ පියනකින් වහලා ස්ටීම් / බේක් කරන්න. ( ස්ටීම් වනවිට පිටතින් වතුර වැටිලා වටලප්පම දියාරු නොවෙන්නට හා බේක් කරන විට වැඩිපුර වියළි ගතියක් නොඑන්නට )
* ටූත් පික් එකක් ගහලා බලන්න ගානට ස්ටීම් / බේක් වෙලාද කියලා. ටූත් පික් එකේ තැවරිලා එන්නෙ නැත්නම් මිශ්‍රණය වටලප්පම ගානට හැදිලා.
8. මෙහිදී කජු මුලින්ම ටිකක් අඩියට දාලා ස්ටීම් කරලා බාගෙට ස්ටීම් වෙනකොට ඉතුරු කජු ටික උඩින් දාන්න පුළුවන්. ටිකක් හයියෙන් කජු කෑලි වටලප්පන් එකට දැමීමෙන් ගානට මැදට කජු කැබලි යාමක් සිදුවේ. මේ විදියට හෝ කැමති විදියකට කජු එක්කර ගන්න.
9. සාදාගත් වටලප්පම හොඳින් නිවුන පසු ශීතකරණයේ තබා අනෙක් පැත්තට හරවාගන්න.
##විශේෂ කරුණු,
##කිතුල් හකුරු යොදාගන්න විට,
* කිතුල් හකුරු සිහින්ව ගාගන්න. එවිට පහසුවෙන් පොල්කිරි වල දියකර ගන්න පුළුවන්.
* ඉස්සර කාලෙ අද වගේ හකුරු ලිපේ තියලා උණු කලේ නෑ. පොල්කිරි වලයි දියකලේ. හොඳ කිතුල් හකුරු සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ දියවෙන ගතියක් තියෙනවා. දියකර ගන්න ගොඩක් පහසුයි. හයිය නෑ. කුඩු වෙනවා.
* සෑම විටම හකුරු දියකල පසුත් පෙරාගන්න. හකුරු වලත් අපද්‍රව්‍ය තිබෙන්නට පුළුවන්.
* දැන් තිබෙන හකුරු වලින් වටලප්පන් හැදුවම පාට ටිකක් අඩුයි. ඒ දැන් ගොඩක් හකුරු වල ස්වභාවය. හැකිතරම් තදපාට හකුරු ගන්න. ( කිරි වල උකුබව එක්කත් පාට ටිකක් අඩු වෙනවා වටලප්පන් එකේ )
##බිත්තර යොදාගන්න විට,
* බිත්තර පෙරාගන්නෙ බිත්තර සුදුමද වල ඇති ගැටිත්තක් වැනි කොටස ඉවත්කර ගන්නයි. එයින් තමා බිත්තර පිළීගඳ පුඩින් වලට එන්නෙ.
* වටලප්පන් එකේ බිත්තර පමණයි හොඳින් බීට්කර/ගසා ගන්නෙ. ඒකෙන් තමා වටලප්පන් එකටම ආවේණික සිදුරු සහිත ගතියක් එන්නෙ. හකුරු දාලා බීට්කර / ගසා ගත්තම වටලප්පන් එක හකුරු පුඩිමක් වගේ ක්‍රීම් ගතියක් ගන්නවා. හකුරු මිශ්‍රණය එක්කර හැන්දකින් හොඳින් කලවම්කර ගන්න.
* සාමාන්‍ය වටලප්පන් රෙසිපි එකක බිත්තර අනුපාතය හකුරු 500g : බිත්තර 12 යි. මේක ගොඩක් මුස්ලිම් අය දන්නවා එයාලා නොවරදවාම හදන දෙයක් නිසා. කැමති අයට රෙසිපි එකෙන් බිත්තරයක් දෙකක් අඩුකර ගන්න පුළුවන් තමන්ගෙ කැමැත්ත අනුව.
##පොල්කිරි සාදාගන්න විට,
* හැකි තරමක් උකුවට කිරි මිරිකා ගන්න.
* නැත්නම් පලමුව වතුර ටිකක් දමා පොල් මිරිකා, දෙවනුව පොල් ටික බ්ලෙන්ඩර් කර හොඳින් කිරි ලබාගන්න. ඒ කිරි සියල්ලම භාජනයකට දමා ශීතකරණයේ තබා, උඩට එක්වන උකු කිරිටික සෙමින් වෙන්කර ගන්න.
##එනසාල් ( කරදමුංගු ) කුඩු යොදාගන්න විට,
* හොඳ එනසාල් කරලකින් ඇට කිහිපයක් ගෙන තලා ඇඟිලි තුඩු වලින් පොඩිකර කුඩු ගතියට සකසාගන්න. වටලප්පන් වලට රසය ලබාදෙන ප්‍රධානම කුළුබඩු වර්ගය එනසාල්. වෙනත් කුළුබඩු වර්ග භාවිතා කරන්නෙ ඒ ඒ අයගෙ කැමැත්ත අනුවයි.
##වෙනත් කුළුබඩු ලෙස,
* කරාබුනැටි කුඩු
* සාදික්කා කුඩු ( සාදික්කා ගෙඩියෙ මැද කොටසෙ කුඩු )
* රම්පා යුෂ
සමහරු/ සමහර රටවල යොදාගන්නවා..
##වැනිලා යොදාගන්න විට,
* වැනිලා අත්‍යාවශ්‍යම දෙයක් නෙවෙයි. ඉස්සර වැනිලා යොදාගත්තෙ නැති තරම්. බිත්තර පිළීගඳ නැති කරගන්න යොදාගන්න පුළුවන් දෙයක් මේ.
* වැනිලා එසන්ස්, කුඩු හෝ පදම් කල වැනිලා කරලකින් ගන්න මදය යොදාගන්න පුළුවන් රස අනුව.
## වටලප්පමක් අනෙක් පැත්තට හරවගන්න විට,
* සාමාන්‍යයෙන් වටලප්පමක් පහසුවෙන් අනෙක් පැත්තට හරවගන්න පුළුවන්. වටලප්පන් එක වටේටම පිහි තුඩකින් සැහැල්ලු කරන්න. අපි කියන්නෙ බුරුල් කරන්න කියලා කට වචනෙට. ඊට පස්සෙ වටලප්පම හරවන ට්‍රේ එක වටලප්පන් තැටියෙ උඩින් තියලා සෙමින් අනෙක් පැත්තට හරවගන්න.
##වටලප්පන් වලට කිරි වර්ග, පැණි වර්ග යොදාගන්න විට ( පහුගිය කාලෙ ගොඩක් අයට ආව ප්‍රශ්නයක් ),
* වටලප්පන් වලට පොල්කිරි තමා යොදාගන්න ප්‍රධානතම කිරි වර්ගය. වෙන කිරි වර්ග වලින් හැදුවම ඒක වටලප්පන් නෙවෙයි හකුරු පුඩිමක් විදියට තමා සැලකෙන්නෙ.
* හැබැයි පොල්කිරි නොමැති, වටලප්පන් කන්න ආසා කෙනෙකුට ( පිටරටවල ඉන්න අපේ අයට ) වටලප්පන්ම නොවුනත් ඒ ආසාව ඉෂ්ට කරගන්න ෆ්‍රෙෂ් මිල්ක්, මිල්ක්මේඩ්, එළකිරි වගේ දෙයක් යොදාගන්න පුළුවන්. හැබැයි එතකොට වටලප්පන්ම නෙවෙයි ඒක. හකුරු පුඩිමක්.
* කිතුල් හකුරු වෙනුවට ගොඩක් පිටරටවල ඉන්න අයට යොදාගන්න වෙන්නෙත් පැණි වර්ග. ඇත්තටම මේ පැණි වර්ග, සීනි වර්ග යොදාගෙන හදන වටලප්පන් කියන්නෙ ඇත්තටම වටලප්පන්මද? ඇත්තටම වටලප්පන් කියන්නෙ කිතුල් හකුරු හෝ කිතුල් පැණි ( ප්‍රධානව හකුරු ) යොදාගන්න දෙයක්. අනෙක් පැණි වර්ග හා සීනි යොදාගන්න වටලප්පම ඇත්තටම පුඩිමක්. වටලප්පන් රසයක් ගෑවුන පුඩිමක්. මේ වර්ග වල වෙනස වටහාගන්න එක තමා වැදගත් වන්නෙ.
![]() By Niranjala Fernando Views - 3 |
![]() By Niranjala Fernando Views - 2 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Niranjala Fernando Views - 1 |
![]() By Ruwanthika Madushani Views - 18368 |
![]() By Shiki Ranasinghe Views - 15693 |
![]() By Indunee Welivita Views - 15594 |
![]() By Indunee Welivita Views - 14859 |
![]() By Chathurani Priyangika Views - 11285 |