katatarasata.com

 

 

වෙඩින් කේක් - Wedding Cake

- නෙරන්ජලා ප්‍ර‍නාන්දු විසිණි.



අවශ්‍ය ද්‍රව්‍ය -

*පළතුරු මිශ්‍රණය සඳහා,

රේසින්ස් 100g

චෙරීස් 100g

චව් චව් 100g

ඉඟුරු දෝසි 100g

කැන්ඩිඩ්පීල් 100g

කරන්ට්ස් 50g

සුල්තානා 150g

පුහුල් දෝසි 150g

කජු 150g ( කජු නැත්නම් ආමන්ඩ් ගන්න )

සුවඳ කුඩු තේ හැඳි 1

වැනිලා මේස හැඳි 1

බ්‍රැන්ඩි මේස හැඳි 1

ආමන්ඩ් එසන්ස් මේස හැඳි 1/4

රෝස එසන්ස් මේස හැඳි 1/2

ගෝල්ඩන් සිරප් මේස හැඳි 5-6

ස්ට්‍රෝබෙරි ජෑම් 120g

රෝස වතුර තේ හැඳි 1/2 ( අවශ්‍යම නැත. පරණම රෙසිපි වල අඩංගු දෙයකි )

** රුලන් මිශ්‍රණය සඳහා,

රුලන් 150g

බටර් / මාගරින් 150g

සුවඳ කුඩු තේ හැඳි 1

වැනිලා මේස හැඳි 1

බ්‍රැන්ඩි මේස හැඳි 1

ආමන්ඩ් එසන්ස් මේස හැඳි 1/4

රෝස එසන්ස් මේස හැඳි 1/2

** කේක් මිශ්‍රණයට,

සීනි 225g ( පොඩි කැට සීනි ගන්න )

බිත්තර ( ලොකු ) 7 ( පොඩි 8 )

** බේක්කල කේක් එක ඇනීම සඳහා,

ස්ට්‍රෝබෙරි ජෑම්

හෝ

ගෝල්ඩන් සිරප්

( මේ රෙසිපි එකට ගෝල්ඩන් සිරප් යොදාගන්න එක තමා හොඳම. ඒකට හේතුව කේක් කෑල්ල රන්වන් පාටට ගන්න පුළුවන් එතකොට ෆොටෝ එකේ විදියට )

#රෙසිපි එකේ තියෙන බ්‍රැන්ඩි වෙනුවට, රෙඩ් වයින්, තැඹිලි වයින්, මිදි වයින් වගේ හොද වයින් වර්ගයක්, රම්, ෂෙරි, ඇපල් යුෂ, දොඩම් යුෂ, මිදි යුෂ දාන්න පුළුවන්.

සාඳන ක්‍රමය -

1. *පළමු දින - මුලින්ම පළතුරු සියල්ලම කපා, අනෙකුත් ද්‍රව්‍ය ඒ ප්‍රමාණයට ගෙන හොඳින් මිශ්‍රකර, හොඳින් සුළං නොවදින ලෙස වසා දින 3ක් තබාගන්න.

2. දෙවෙනි දින - රුලන් මිශ්‍රණය සඳහා රුලන් රන්වන් පාටට බැදගන්න. බැදගත් රුලන් වෙනත් බෝල් එකකට දමා ටිකක් වෙලා එහාට මෙහාට කලවම්කර නිවාගන්න. රත්වූ භාජනයේ තිබීමෙන් කලුපාට වෙන්න පුළුවන්.

3. බැදගත් රුලන් හා රුලන් මිශ්‍රණයට යොදාගන්න අනෙක් ද්‍රව්‍ය සියල්ල හොදින් මිශ්‍රකර එයත් සුළං නොවදින ලෙස හොඳින් වසා තබාගන්න.

**මෙය කේක් මිශ්‍රණය හදන දවසට කැමතිනම් හදන්න පුළුවන් පැයකට පමණ පෙර. දෙවෙනි දවසෙ හදලා බටර් දියවෙනවා නම් පමණක් ශීතකරණයේ යට කොටසේ තියන්න. නැත්නම් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තියන්න.

4. තුන්වෙනි දින - සාදාගත් මිශ්‍රණ එසේම තබාගන්න.

5. සිව්වැනි දින - බිත්තර හා සීනි හොඳින් බීට්කර ගන්න. මෙහිදී සීනි වලට බිත්තර ටික ටික එක්කරමින් හොඳින් බීට්කර ගන්න.

6. දැන් බීට්කල බිත්තර වලින් ටිකක් ගෙන රුලන් මිශ්‍රණයට දමා කැටි නොමැති ලෙස හොඳින් මිශ්‍රකර ගන්න. ඉන්පසු එය බිත්තර මිශ්‍රණයට එක්කර හොඳින් පත්තකින් කලවම් කරගන්න.

* මුලින්ම බිත්තර ටිකක් එක්කර රුලන් මිශ්‍රණය මිශ්‍රකර ගැනීමෙන් බිත්තර මිශ්‍රණයට එකවර රුලන් මිශ්‍රණය දැමීමෙන් ඇතිවන කැටි කොටස් ඇතිවීම වළක්වා ගන්න පුළුවන්.

7. දැන් පළතුරු මිශ්‍රණය හොඳින් මිශ්‍රකර, එය කොටස් ලෙස බිත්තර මිශ්‍රණයට එක්කර, කැටි නොසිටින්නට කලවම් කරගන්න.

8. දැන් අඩියට පත්තර පිටු 5-6ක් දැමූ, එය උඩට ඔයිල් පේපර් දෙකක් දැමූ තැටියකට මිශ්‍රණය දමා, සමානව තුනීකර ගන්න.

9. 190C° / 200C° උෂ්ණත්වයේ රත්කල අවන් එකක පැය එකහමාරක් පමණ බේක්කර ගන්න.

* මෙහිදී අවන් අනුව කාලය අඩු වැඩි විය හැක. පැයක් පසුවූ පසුව බලා අවශ්‍ය වේලා බලා බේක්කර ගන්න.

10. බේක්කල කේක් එක හොඳින් නිවෙන්නට තබාගන්න.

11. හොඳින් නිවුන කේක් එක එසේම තබා, සුළං නොවදින ලෙස වසා දින කිහිපයක් තබාගන්න. ( දින 3-5 ක් වගේ )

*මමනම් කේක් එක උඩට ලන්ච් ශීට් එකක් අතුරලා තමා හොදට උරේකට දාලා ගැටගහලා තියන්නෙ.

##මේ කේක් එකේ බේක්කල පසු බර කිලෝ 2යි 50g වෙන්න තිබුනා.

⭐

#විශේෂ කරුණු ( කේක් එක සෑදීමට )

** මගෙ තාත්තා කේක් එක හදනකොට බිත්තර සුදුමද, කහමද මුලින්ම වෙන් කරනවා. කහමද තමා සීනි එක්ක බීට් කරන්නෙ. එහෙම කරලා රෙසිපි එකේ විදියට කේක් එක හදනවා. බිත්තර සුදුමද වෙනමම පුළුන් වගේ බීට් කරනවා. අන්තිමෙටම සුදුමද මිශ්‍රණය කේක් මිශ්‍රණයට හොඳින් කලවම්කර ගන්නවා. මෙහෙම හදන්න කැමති අයටයි මේ. මාත් මෙහෙම හදනවා. හදිස්සි වෙලාවට එකපාරටම සම්පූර්ණ බිත්තර බීට් කරලා හදනවා.

( බිත්තර කහමද එක්ක සීනි බීට් කරනවනම් පොඩි කැට සීනි හෝ කුඩු කරගත් සීනි ගන්න. ලොකු කැට සීනි කහමද වල දියවෙනවා අඩුයි ගොඩක් වෙලාවට. බීට් වෙනකොට කහමද ඝනකම් වෙනනිසා. ඒ වෙලාවට ඕනනම් බිත්තර සුදුමදයක් දාලා බීට් කරන්න. )

⭐

##කේක් මිශ්‍රණය කෑලි කැපීමට සැකසීම,

1. මුලින්ම කේක් එක ගෙන, ලොකු භාජනයකට කුඩු කර දමාගන්න.

2. * කැමති අය,

කොළ පාට චෙරි ගෙඩි ටිකක් ගෙන ( සීනි සිරප් වල දැමූ ) හොඳින් තෙතමනය ටිෂූ එකකින් ඉවත්කර, පොඩි කෑලි කපාගන්න.

කජු ටිකක් කෑලි කපා රෝස්ට් කරගන්න.

මේවා කුඩු කල කේක් මිශ්‍රණයට කලවම්කර ගන්න. කේක් එකට ලස්සනක් වෙනසක් ලැබෙනවා. කල්තබා ගන්න විට චෙරි කලවම්කර ගන්න එපා. නරක් වෙනවා.

3. දැන් කේක් එකට තෙතමනය එන ලෙසට ගෝල්ඩන් සිරප් හෝ ජෑම් එක්කර අනාගන්න. ගොඩක් දාන්න එපා. මේ කේක් එකේ පැණි ගතිය එනවා හොඳට පරණ වෙනකොට.

4. දැන් කේක් මිශ්‍රණය සමානව ඉටිකොළයක් උඩ අතුරාගන්න.

* වෙඩින් කේක් කැපීමට වෙනමම ට්‍රේ එකක් හා අච්චුවක් එකට ඇති කේක් ට්‍රේ එකක් වෙළෙඳපොළේ ඇත. අවශ්‍ය අයට ගන්න පුළුවන් ඒක.

5. දැන් අතුරාගත් කේක් එක උඩින් මාසිපන් අයිසින් එක අතුරා, කෑලි කපාගන්න.

⭐

##විශේෂ කරුණු -

**ජෑම් හෝ ගෝල්ඩන් සිරප් දැමීමට අකමැති අය අවශ්‍ය උසට කේක් එක බේක්කර, කෙලින්ම කේක් එක උඩට මාසිපන් අයිසින් එක දමා කෑලි කපාගන්න.

⭐

##මාසිපන් අයිසින් ...

අවශ්‍ය ද්‍රව්‍ය -

කජු කුඩු ( හෝ ආමන්ඩ් කුඩු ) 250g

අයිසින් සීනි 500g

ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1

බිත්තර සුදුමද 1

සාදන ක්‍රමය -

1. කජු කුඩු හා අයිසින් සීනි, ආමන්ඩ් එසන්ස් එකට මිශ්‍රකර, එයට බිත්තර සුදුමද ටික ටික දමමින් අතේ නොඇලෙන මෝලියක් සාදාගන්න.

2. දැන් මේ මිශ්‍රණය ලන්ච් ශීට් එකක හෝ ඉටි කොළයක තුනීකර, අවශ්‍ය ලෙස සකසාගත් වෙඩින් කේක් එක උඩ ලන්ච් ශීට් / ඉටිකොළය අනෙක් පැත්තට හරවා අතුරා ගන්න.

⭐⭐

##කේක් එකට ගන්න සියලුම අමුද්‍රව්‍ය හොඳම ඒවගෙන් ගන්න. චෙරි වර්ග ඕස්ට්‍රේලියන් චෙරි ගන්න පුළුවන් නම්. රසය වැඩි වෙන්නෙ, කල්තබා ගන්න කාලෙ වැඩි වෙන්නෙ කේක් එකට යොදාගන්න අමුද්‍රව්‍ය අනුවයි. වෙඩින් කේක් කියලා දෙන හැම කේක් එකක්ම හොඳ කොලිටියට නැති ප්‍රධාන හේතුවක් අමුද්‍රව්‍ය.

##ගන්න අමුද්‍රව්‍ය පාවිච්චියට පෙර හොඳින් බලන්න ඇහැට නොපෙනෙන කෘමීන්, පනුවන්, පලතුරු නැටි, අපද්‍රව්‍ය තියෙනවද කියලා. පලතුරු සෝදන්න අවශ්‍යම නෑ. අපද්‍රව්‍ය තියෙනවද බලන්න හොදට.

##කේක් එකට පලතුරු කපනකොට ටිකක් කෑලි හැපෙන ගානට කපාගන්න. චූටියටම කෑලි කපලා කේක් එක හැදුවම අන්තිමෙටම කේක් කෑල්ල මැටි ගොඩක් වගේ වෙනවා. එතකොට ලස්සනක් නෑ වගේම කනකොට පලතුරු පල්ප් එකක් වගේ නිසා ආසාවක් ඇති වෙන්නෑ කේක් එකට. කෑලි ගතියට හැපෙනකොට තමා කේක් එක හොඳින් රස විදින්න පුළුවන් වෙන්නෙ. ලොකුම කෑලි නෙවෙයි සාමාන්‍ය ගානට කෑලි කපාගන්න.

##සීනි සිරප් තියෙන පලතුරු වල වැඩිපුර සිරප් කේක් එකට එක්කරන විට කල්පනාකාරී වෙන්න. කේක් එකට අවශ්‍ය සීනි රෙසිපි එකේ අඩංගුයි. මේ සිරප් එක අනවශ්‍ය එකතු වීමක්. කැමති අය සිරප් එක ඉවත්කර, අවශ්‍ය ප්‍රමාණයට පලතුරු එක්කර ගන්න.

##කවදාවත් මේ කේක් එකට රටඉදි දාන්න එපා. රටඉදි කියන්නෙ පලතුරු වලින් රසය ඉහළින්ම ගෙනදෙන පලතුරක්. මේ කේක් එකට රටඉදි දැම්මම වෙන්නෙ මේ කේක් එකට ආවේනික රසය රටඉදි රසයෙන් යටපත් කරන එක. එතකොට පලතුරු මිශ්‍ර රටඉදි කේක් එකක් වගේ වෙනවා මේ කේක් එකේ රසයත්. කේක් එකේ කොලිටිය හරියට ඕනනම් රටඉදි දාන්න එපා. කොලිටිය බාල කරලා හදන වෙඩින් / ක්‍රිස්මස් කේක් වලට තමා රටඉදි දාන්නෙ.

##කේක් එකේ රන්වන් වර්ණය නොඑන්න හේතු කිහිපයක් බලපානවා.

* එකක් තමා කලුපාට පලතුරු අඩුවීම . කලුපාට පලතුරු වැඩි වෙන තරමට කේක් එක කලුපාටක් ගන්නවා.

* අනික් දෙය තමා ස්ට්‍රෝබෙරි ජෑම් වගේ තද පාට ජෑම් වර්ග දාලා අනන එක. මෙහිදී ස්ට්‍රෝබෙරි ජෑම් වෙනුවට ගෝල්ඩන් සිරප් හෝ මිශ්‍ර පලතුරු වගේ කහපාට ජෑම් වර්ගයක් පාවිච්චි කරන්න.

* ඒ වගේම අනවශ්‍ය විදියට කේක් එක බේක් වීම නිසත් කේක් එක අදුරු පැහැයක් ගන්නවා. ඉලෙක්ට්‍රික් අවන් වල උඩ දඟරෙන් වැඩිපුර රස්නෙ වැදිලා කේක් එකේ පාට වෙනස් වෙන්න පුළුවන්. සැමවිටම කේක් එක ගානට බේක්කර ගන්න.

## පළතුරු පදම් කරන භාජනය වීදුරු වන තරමට හොදයි. ප්ලාස්ටික් භාවිතා කරන අයත් ඉන්නවා. සමහර ප්ලාස්ටික් වර්ග වලට එසන්ස්, බ්‍රැන්ඩි වගේ දේවල් දැම්මම ප්‍රතික්‍රියා සිදුවෙනවා අපි නොදැනුවත්ව. ප්ලාස්ටික් භාජන ගන්නවා නම් හොදම වර්ගයේ මිලෙන් වැඩි භාජන ගන්න. බාල ප්ලාස්ටික් නොගෙන. සාමාන්‍යයෙන් කල්තබා ගන්න ආහාර ද්‍රව්‍ය ප්ලාස්ටික් භාජන වල දැමීම ආහාර විකුණන අය කරනකොට පරිස්සම් වෙන්න ඕනා. ඒවට අදාළව සිදුවෙන සුලු වැරැද්දකට පවා අපිට වගකීමක් ගන්න වෙනවා. ඒ නිසා. අනුන්ට දෙන ආහාරයක් කියලා නොසිතා නියමාකාරයෙන් ඒ පියවරවල් කරන්න. අනවශ්‍ය බැක්ටීරියා වර්ග නිසා තමා ගොඩක් අයට වෙඩින් කේක් එක අවුරුද්දක් තියාගන්න බැරිවෙලා තියෙන්නෙ.

##වෙඩින් කේක් වලදී කේක් එක උඩ මාසිපන් අයිසින් එක අතුරාගනු ලබයි.

##නත්තල් කේක් කැබලි සෑඳීමේදී මාසිපන් අයිසින් එක නොදාන අතර, දැන් දැන් එයටත් මාසිපන් අයිසින් එක යොදාගනු ලබයි.

##මෙම කේක් එකට යොදාගනු ලබන්නේ සම්පූර්ණ බිත්තර. ( වෙනත් රෙසිපි වල කහමද , සුදුමද වෙන් වෙන්ව ගන්න එක පටලවා ගන්න එපා මේ රෙසිපි එකත් එක්ක )

##සමහරු අහනවා කජු අඩු කරලා අයිසින් සීනි වැඩි කරලා මාසිපන් අයිසින් එක හදන්න පුළුවන්ද කියලා. පුළුවන්. රස අනුව ප්‍රමාණය වෙනස්කර ගන්න. හැබැයි කජු රසයක් එන විදියට කජුත් එක්කර ගන්න. එතකොට තමා රසවත්..

##මේ කේක් එක මාසිපන් අයිසින් එක දමා සතියක් එකහමාරක් උපරිමයෙන් තබාගන්න. එයට හේතුව බිත්තර සුදුමද අයිසින් එකට යොදාගන්න නිසයි.

##වෙළෙඳපොළේ ඇති මාසිපන් අයිසින් එක දමා හෝ අයිසින් නොදා අවුරුද්දකට වඩා තබාගත හැක. සමහර වසරවල නත්තල් කේක් ( අයිසින් නොදා ) ඊළඟ අවුරුද්ද පුරාවටම කන්න තියාගන්නවා අපේ ගෙදර. එහෙම තියාගන්න විට කාලෙකට සැරයක් කේක් කෑලි වල උඩ යට මාරු කරන්න. එයින් කේක් කෑල්ලේ පැණි ගතිය යටට බැස, කේක් කෑල්ලේ උඩ කොටස වේලුම් ගතියක් ඒමෙන් වළක්වනවා. ( මේ මගෙ තාත්තගෙ රහස් )

⭐ මම මේකෙන් 50g කේක් කෑලි 40යි, ඊට ටිකක් අඩු කේක් කෑලි 2කුයි කපාගත්තා. සාමාන්‍ය වෙඩින් කේක් කෑල්ලක 45g බරට මේ ප්‍රමාණයට වඩා කපාගන්න පුළුවන් ඔයාලට.

⭐ හැමදාම කට්ටිය අහනවා වියදම ගැන. සාමාන්‍යයෙන් 3000ක් වගේ ගානක් වත් යනවා සාමාන්‍ය කඩේකින් බඩු ගන්නකොට. ප්‍රදේශය අනුව මේ ගාන වෙනස් වෙන්න පුළුවන්.

නෙරන්ජලා ප්‍ර‍නාන්දු ගේ වෙනත් කෑම වට්ටෝරු


තල් මිශ්‍ර රුලන් අලුවා
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කැවුම්
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරිපැණි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු

තල් කිරි
නෙරන්ජලා ප්‍ර‍නාන්දු
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 40
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 27
පාන්
By Priyanthi Tissera
Views - 27
පාන්
By Hasintha Madushan
Views - 25
හාල්මැස්සන් කොච්චි තෙම්පරාදු බත
By Janisha Bamunuarachchi
Views - 51
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 18760
පෑන් කේක්
By Indunee Welivita
Views - 16055
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 16020
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 15277
පැනි රොටී
By Chathurani Priyangika
Views - 11526
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'