katatarasata.com

 

 

මුං කැරලි / මුං කැවුම් -

- ඉන්දුනී වැලිවිට විසිණි.



මුං කැරලි /මුං කැවුම් (50-60 සඳහා) / Mun Kerali / Mun Kevum

අවශ්‍ය ද්‍රව්‍ය:

මුං පිටි 350g -මුං ඇට 450 g (කොප්ප 2) ගෙන බැද පොතු ඉවත් කර කොටා හලා ගත් පසු)

හාල් පිටි 250 g

පාන් පිටි මේස හැඳි 2

එනසාල් කරල් 3, කරාබු නැටි 1

පැණි කෝප්ප කෝප්ප 2 (500ml) වතුර කෝප්ප 1/3 සීනි 100 g /හෝ දුඹුරු සීනි 300g වතුර කෝප්ප 11/3 දමා උණු කර සාදා ගත් පැණි (කෝප්ප 2 පමණ වේ)

ලුනු ටිකක්

කවරය සඳහා:

සුදු අමු හාල් පිටි 200g

පාන් පිටි මේස හැඳි 1

පොල් කිරි කෝප්ප 1 (ප්‍රමාණය අඩු වැඩි විය හැක)

බිත්තර 1 (කැමති නම්)

කහ ටිකක්

ලුනු ටිකක්

මුං කැවුම් සාදන ක්‍රමය :-

>>මුං පිටි සෑදීම: මුං ඇට තද දුඹුරු පාට වන තුරු කබලේ බැද ගන්න (ෆොටෝ එක බලන්න). එය වංගෙඩියක දමා පොතු ඉවත් වන තුරු පාහින්න (ලාවට මොල් ගහෙන් ඇට රෝල් වී කෑලි කැඩෙමින් පොතු වෙන් වන සේ කොටන්න). දැන් කුල්ලකට හෝ තැටියකට දමා පොලමින් පොතු ඉවත් කර ගන්න. පොතු අයින් කලාම පොත්තෙන් එන සැර රස නැති වෙනවා. මුං ඇට කොටා සිවුම්ව හලා ගන්න.

>>හාල් පිටි සෑදීම: හාල් පැය 4-5 පොඟවා කොටා හලා ගන්න. පත්තරයක තුනී කර ටිකක් වියලි වූ පසු කබලේ දමා හොඳින් බැද ගන්න (පිටි ටිකක් අල්ලා බැලූ විට දූවිලි වගේ වන තුරු). කඩේ හාල් පිටි ගෙන බැද ගන්නත් පුලුවන්.

>>එනසාල් කරාබු නැටි ලාවට බැද කුඩු කර ගන්න.

>>මුං පිටි, සුවඳ කුඩු, පාන් පිටි, හාල් පිටි වලින් කොටසක් මිශ්‍ර කර ගන්න.

>>හාල් පිටි ටිකක් ලෑල්ලක තුනී කර, උඩින් ඉසීමටත් පිටි ටිකක් තියා ගන්න.

>>දැන් බාජනයකට පැනි,සීනි, වතුර (පැණි නැති නම් සීනි සහ වතුර) දමා වැල පදමට උණු කරන්න (හැන්ද උස්සා බැලූ විට අන්තිම පැණි බින්දුව වැටෙන විට නූලක් වගේ ඇදේ). ලුණු ඇඟිලි තුඩට අසු වන තරම් ටිකක් දාන්න.

>>පැණි ලිපෙන් බා කොටසක් වෙන් කර ගන්න. පැණි එක විනාඩි 2 පමන නිවුන පසු (ගල් වීම වැලැක්වීමට) එයට පිටි දමා කවලම් කරන්න. අවශ්‍ය පමණ පැණි හා තව හාල් පිටි දමමින් ගුලියට එනතුරු කවලම් කරන්න.

>>දැන් මෙම බාජනය ලිපේ තබා විනාඩි 2ක් කවලම් කරමින් උයා ගන්න. මෙසේ කල විට අමු රස, රළු ගතිය නැතිව මෘදුවට රසට මුං කැරලි සෑදේ.

දැන් මිශ්‍රණය හාල් පිටි තැවරූ ලෑල්ලේ දමා උඩින් පිටි ඉස තුනී කරගන්න. කෑලි කපා ගන්න.

>>මේවා කඩදාසියක තුනී කර දවසක් පමණ තියන්න. (මේ විදියට හැදුවාම මුං කැරලි කල් තියා ගන්න පුලුවනි. හැඩෙත් ලස්සනට තියෙනවා)

>>බදින වෙලාවට අමු හාල් පිටි, පාන් පිටි, පොල් කිරි, බිත්තර දමා මිශ්‍රණයක් හදාගන්න. එයට ලුනු සහ කහ ස්වල්පයක් කවලම් කරන්න.

>>දැන් තෙල් ලිප තබා මුං කැරලි පිටි කවරයේ තවරා තෙලේ බැදගන්න. එකක් බැද්දාම පිටි හොඳින් තැවරෙන්නේ නැති නම් තව පිටි දමා පදම හදා ගන්න. තෙලෙන් බා තෙල් ගොට්ටකට හෝ කඩදාසියක් මත දමා නිවුන පසු බාජනයක දමන්න.

** මුං කැරලි හදන කොට වරදින තැන් කීපයක් තියෙනවා.

*එකක් තමයි මිශ්‍රණය ගල් වෙන එක. ඒකට හේතු කීපයක් තියෙනවා.

-එකක් පැණි උණු වෙලා වැඩි වීම. නූල් ඇදෙන ගතිය ආපු ගමන් බාන්න.

-අනික පැණි ලිපේ තියෙද්දිම පිිටි දැමීම. ඒකට තමයි ලිපෙන් බාලා විනාඩි 2-3 ඉඳලා පිටි කවලම් කරන්න ඕන.

-තව හේතුවක් තමයි පිටි ටිකට ඕන පැණි මදි වෙන එක. ඒකට තමයි පැණි ටිකක් වැඩි පුර හදලා වෙන් කර ගෙන ටික ටික අවශ්‍ය තරමට දාන්න.

-මෙහෙම කලාම වේලිලා වැඩි වෙන්නේ නෑ. බැරි වෙලාවත් වේලීගෙන එනවා වගේ පේනවා නම් උණු වතුර ටිකක් දාලා කවලම් කරන්නත් පුලුවන්.

*කැවුම් පදම වැරදුණාම තමයි තෙලේදි කුඩු වෙන්නේ

*සමහරු කැවුම් තුනී කරද්දී පොල් තෙල් ගානවා. ඒකෙන් මුඩු රසක් එනවා ටික දවසක් ගියාම. බැදපු පිටි දාලා තුනී කරන්න.

*අනිත් වරදින්න තියෙන තැන තමයි පිටි කවරය බදිනකොට ගැලවිලා යාම. ඒකට හේතු තමයි පිටි මිශ්‍රණය දියාරු වැඩි වීමත්, පිටි හොඳින් හලලා නැති එකත්, පොල් කිරි පිපිලා වැඩි වෙන එකත්.

මේ වැරදි හදා ගත්තාම රසට ලස්සනට මුං කැරලි හදන්න පුලුවනි.

**මේ විදියට හදා ගන්න මුං කැරලි හුලං වදින්නේ නැති බාජනයක දාලා ෆ්‍රීසර් එකේ අවුරුද්දක් වුණත් තියා ගන්න පුලුවනි රස වෙනස් වෙන්නේ නැතිව

ඉන්දුනී වැලිවිට ගේ වෙනත් කෑම වට්ටෝරු


කොණ්ඩ කැවුම්
ඉන්දුනී වැලිවිට

මුං කැරලි / මුං කැවුම්
ඉන්දුනී වැලිවිට

ආස්මි
ඉන්දුනී වැලිවිට

කිරියා
ඉන්දුනී වැලිවිට
අනුග්‍රහය - Sponsors
නවතම කෑම වට්ටෝරු
කජු හා ප්ලම්ස් මිශ්‍ර හාල්පිටි බිස්කට්
By Hiru Lahiru
Views - 544
රෝස්ට් පාන්
By Manel Fernando
Views - 579
සෝඩා බ්‍රෙඩ්
By Uresha Uresha
Views - 415
පාන්
By Priyanthi Tissera
Views - 473
පාන්
By Hasintha Madushan
Views - 424
ජනප්‍රිය කෑම වට්ටෝරු
මාරි බිස්කට් පුඩිම
By Ruwanthika Madushani
Views - 20082
පෑන් කේක්
By Indunee Welivita
Views - 18446
කිරිපිටි පුඩිං
By Shiki Ranasinghe
Views - 17121
එළවළු චොප්සි
By Indunee Welivita
Views - 16346
පැනි රොටී
By Chathurani Priyangika
Views - 12401
Copyright © 2016 - 2021 Katatarasata.lk and Katatarasata.com All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'katatarasata'